Tuesday, October 18, 2016

පත්තිනි

True love

06.10.2016...Teacher's Day




තුරුලේම හිනැහීලා
නුඹ උන්නා පෙරදාක
කිචි බිචිය නිරතුරුව
ගෙයි පෙරලි කෙරුවාම
පාලුවට තනිකමට 
නෑ ඉඩක් කිසිදාක
දූ මැණික නුඹ උන්නා
සදසේම පායාන

සද රෑක සුරගනිය
සිහිනයක උන්නාද
සද එළිය කරුමයට
මග පාර කිව්වාද
කිච්බිචිය නැවතීලා
පාලුවට දැනුනාම
තනිකමට හිත වෙලුනා
ගිය හින්දා නොකියාම

කළුවරට අතවනා
සද කොහේ ගිලුනා ද
රෑ පිපුණු මල් කැකුළු
පරවීල වැටුනාද
සුදුවලා රත් පැහෙන්
තෙත් වීල හැඩුවාද
මුළු අහස දෙදරාලා
කදුළු වැසි වැටුනාද

මිනිස් වෙස් මාරයා
කොහේ සිට ආවාද
පුංචි අත පය කඩා
සාපයක් කෙරුවාද
මල් පුදන අප යදින
දෙවියන්ට නොපෙනුනිද
මහීකත වැලපීලා
උහුලාන උන්නාද

අදුර මැද විලාපය
දෙසවනට නෑසුණිද
හුස්ම පොද ගිලිහිලා
දෙව්ලොවට ඉගිලුනි ද
හෙට පිපෙන මල් කැකුළු
රැකගන්න නොසිතේද
හඩනැගූ සිත් අගින්
සේයාව පාවීද

වැහිලිහිනි ...
හිරුත් මිලිනව අහස් කුස යට
සදකි මට නුඹ අමාවක රැය
ගෙවා ගන්නේ කෝම දිවිමග
අරුමයකි මට නුඹේ සෙනෙහස 

කුසට කුසගිනි හොරෙන් හංගා
වතුර උගුරින් එගිනි නිවලා
අපේ බඩකට යසට පුරවා
හිනැහි හිනැහි බලා උන්නා

හිරුට රහසින් අවදිවීලා
දිවිය සරුමග පාර සොයලා
දෑතෙ කරගැට සෙමින් අතගා
අපේ හිස සිඹ හීන දැකලා

කදුළු දිලිසෙන ලිපේ ගිනි ළග
රූරා එක දෙක පොළව සිපගෙන
හිතේ ගිනිමැද සිනා සී නුඹ
දිරිය දුන්නා ලොවක් දිනුමට

කළුවරට සිත ඉකිගසාලා
නුඹ හඩන හැටි සිනහ මවලා
නොදැන සිටිසේ මවාපාලා
මමත් හැඩුවා රැයක් ඉකිලා

වැහිලිහිනි ...


වැහිලිහිනි ...



වැහිකෝඩයට අතවනා
දගකාර ගී කියන
සීතල වලාකුළු යට
හැඩකාර හීනමවන
වැහිලිහිනියේ
ඉගිලීයන්
අර පේන අනන්තයට
වැස්ස කඩාවැටෙන
නිමේශක
උණුසුන් තුරුලක තනිවෙන්න

වැහිලිහිනි ...

සසර සමුදුර එතෙර වනදා සිතින් සැනසෙම් කවුළු හැරදා

සංසාර සාගරේ
පතා ආ ලෙස මේ භවේ
ඔබේ සිත ළග වැතිර සැතපෙම්
ඇවිද යන්නට දිවි මගේ

ලියූ කවි ගී සසර පෙරදා
පුරුදු ලෙංගතු තනුව වයලා
දිනෙක ඔබ මා අපේ පෙම්ලොව
ජීවිතේ හැඩ කිරුළු පළදා

නොමියෙනා සිත මියෙන දිවියේ
රැගෙන දෝතින් ඔබේ නාමෙන්
පතා එන්නම් එක්ව යන්නට
චන්නකින්නර ආදරේ

නිවන් දකිනා ජාතී මතු දා
නුඹට විවරන සිතින් පතලා
පතිනියක වී ඔබේ කුළගෙයි
සෙනේ විදිනට හීන දකිනා

නොවෙම් කුමරිය මනමේ හැඩ කළ
සද කිදුරි මම නුඹේ හුස්මට
රකිමි නුඹ මම මගේ හිමිසද
ලොවම හැඩ කළ නුඹයි ඉර සද

දිවිය හැරදා ඉගිල යනදා
එක්ව එන්නම් ඔබේ සිත හා
සසර සමුදුර එතෙර වනදා
සිතින් සැනසෙම් කවුළු හැරදා

වැහිලිහිනි...

"ෆිර්දෝස්"

දගකාර කෙහෙරැල්
ඔහේ පාවෙන හසරැල්
මිටියාවත පුරාවට
දගකරපු
හීතල මතකයන්
"ෆිර්දෝස්"
බලා උන්නා මං
හිරිවැටුණු හිතට
උණුහුමක්
හිරවෙච්චි ආදරය ළග
නුඹ දැන්
ගිණිසිළුවක්
ඒත්..
එදා මෙන්
තාම නුඹ
වසන්තයට ඔප වැටුණු
ටියුලිප් මල් කැකුළක්
සුදුපාට කාශ්මීරයේ
සීත සෘතුවේ
දියව ගිය හිම පියළි යටින්
මතුවුණ
මල් කැකුළක්
"නූර්...
නවතාපන් ඔය බැල්ම
නුරාවෙන් ලෙඩවෙච්චි
අතරමං වූ දෙනෙත් ළග
"ෆිර්දෝස්..,
පොපියන හීනයක
දෙතොලතර සිරවෙන්න
ඉඩ දීපන්
ආත්මය වසාගෙන
නුඹේ වෙන්නට
සදාකල්

වැහිලිහිනි...



ඔවුන්ගේ ලෝකය

ජීවිතය පුරා විදි
සුන්දරත්වය 
ඔබටත් මටත් 
ලොව හමුවේ
ප්‍රදර්ශනයක් නොවෙනතුරාවට
අපූර්වතම හැගුමක් වේවී එය
සංසාරය පුරාවට වෙලී යන
රැල්ලෙන් මැකුනත්
රැල්ලට නොමැකෙන
කරළියේ රගදක්වනා
ප්‍රදර්ශන කාමයෙන් ඔබ්බට ගිය
පිංසාර හැගුමක
ආදරණීය
යොවුන්විය..

බොහෝ දේ අහිමි නෙත් ළග
කදුළක් ඉතිරි කර
නුඹත් මමත් දිවිය විදිනා හැටි
පුරසාරමින් ඉස්මතුකොට
ලබාගන්නා සතුට
ඔවුන්ගේ ලෝකය ළග
කදුලක් මිස සතුටක් නොවෙනු ඇත
කිසිදාක
සිතන්න....






This is the love

සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ
තුන්යම හිත ළග සැනසෙනවා
කුළුදුල් පැතුමක පෙම්බර හීනය
උණුසුම් තුරුලක සැතපෙනවා
සසරේ ලෙන්ගතු ඔය හිත මා ළග
සද සේ සිසිලස සනසනවා
දෙනුවන් කැල්මක පහසින් නුඹ මට
හිරු සේ මගෙ ලොව රජවෙනවා
තරු නැති අහසක සද එළියයි නුඹ
පුන් පෝදා රෑ අහස වගේ
සාගර මහ දිය පරදන සෙනෙහස
ආත්මීය හුරුපුරුදු දැනේ
පෙම් හිත මගෙ ලොව තනිය මැකූ නුඹ
සදා රැදෙන් මුලු දිවිය මගේ
නිවෙනු එපා රන් තරුවකි නුඹ මට
දුරස් නොවෙන් මේ සසර මගේ
වැහිලිහිනි ...

පාවෙලා දුර ඈත ඉම සිට

පාවෙලා දුර ඈත ඉම සිට
හදේ නැවතී තුරුලු වූ දා
දැනුනි මහමෙර සෙනෙහෙ නුඹ ළය
සප්ත සයුරත් ගැඹුර පරදා
සසර දවසක නුඹේ හැඩරුව
දැනුනු ලෙන්ගතු පුරුදු උණුහුම
අදහා ගන්නට නොහැක තව මට
නුඹයි සද මා පතන පෙම් ලොව
හිරුය නුඹ සැඩ මගෙ සිත ළග
මකා තනිකම් අදුර එළියට
අමාවක කළුවරයි පරදන
සිසිල සොම්නස සදුය නුඹ මට
පතමි හැම භව මගේ හිමි සද
සසරේ මතුදා නික්මෙනා සද
නොයන් කිසිදා දුරක මගෙ සද
බලා ඉන්නම් ඔබයි මගෙ සද
වැහිලිහිනි ...

ලියා අහවර නොවූ පරිචයක්

තරු සිදුරු වසා
රෑ අහස සනසනා
සද එළිය යට
හීන පොදි ඇහිදිනා
විසේකාර සමනලියේ
හෙටත් හිමිදිරියේ
තැලී පොඩි වී ඔහොම
හැඩකරන ජීවිතය
කෙලෙසනම් දළුලාද
ඉරී ගිය සළුපොටින්
වසා විළි
පාට ගෑ දෙතොළගින්
මවා පෑ සිනා අග
රැදී දුක් කදුළු කැට
වෙරදරා කියා පෑ
ලියා අහවර නොවූ
පරිචයක්

ඇයට හිමි
වැහිලිහිනි ...

තරුකැට පුංචි ඇස්

ස්වප්නයක්ව
සුරංගනවන් ගෙන ආ
හීනවලට පාට දීපූ
මගේ රෝස පෙත්තෝ
තරුකැට පුංචි ඇස්
මේ ලෝකේ දැක ගන්න
බර වැඩියි ඔය හිතට
දගකාර කිරිකැටියෝ
දුර ඈත එක දවසක
මං දැකපු ඒ හීන
මගේ ඇස් පුදුමකර
මගේ තුරුලේ
දැවටියන්
ඔහොම
අර පේන හීනමල්
ඇහිදින්න එපා හෙට
වැටහේවී
මිරිගුවක්
තුරුලේම ගුලිවෙයන්
උණුහුමට සදාකල්
වැහිලිහිනි ...

අමාවක රෑ අහස



අමාවක රෑ අහස
පුරා දිලි
දගකාර තරු රෑන
මනමාලකම් පෑව
මුවා වී කලුවරට 
පිනි වැටෙන
හැම රෑක
බලා උන්නා ඔහොම
සදකුමුදු මල් කැකුළ
මවා සුරපුර අහස
පායාල පෝදාක
හිනහුණා
සද සීත
මකා තනිකම්
සිහින
වැහිලිහිනි ...